ඒ. ඩී. රන්ජිත් කුමාර විසින් 2021 දෙසැම්බර 11 සිළුමිණ පුවත්පතට ලියන ලදී.
ලස්සන කඳුවැටි වලින් වටවුණු රක්වාන සිංහරාජ අඩවියේ පුංචි ගමක ඉපදුන කුඩා දරුවකු ගෙදර සුදු බිත්තියේ හිස් තැන්වල ඡායාවක් ඇති වී නැති වී යනු දුටුවේය. ඒ ඡායාව අල්ලා ගන්නට මේ පුංචි ළමයාට තිබුණේ පුදුම ආසාවකි. රක්වානේ තිබුණු චිත්‍රපට පෙන්වන කූඩාරම්වල තිරගත වූ දෙමළ සටන් චිත්‍රපට අතර “අපුර්ව සහෝදරගල්” ඔහු විශේෂයෙන් රුචි කළේය.. මේ චිත්‍රපට දැකීමෙන් සිනමාවට ඇළුම් කළ මේ දරුවා කවදා හෝ චිත්‍රපටයක් හදනවා යැයි සිතුවේය. කාලය ගෙවී ගියේය. වේදිකා නාට්‍ය රඟපෑම හරහා සිනමා නළුවකු හා චිත්‍රපට රචකයකු ද ලෙස දස්කම් පෑ ඔහු රජයේ ලිපිකරුවකුව සිටියදී කළ කෙටි චිත්‍රපටය ජාත්‍යන්තර සම්මාන උලෙළකින් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ඒමට ඔහු සමත් විය. ඔහු සුගතපාල සෙනරත් යාපා ය.
දැනට රාගම බටුවත්ත, නාරංගොඩපාලුවේ නිවෙසේ ගිලන්ව සිටියදීත් තම අතීත තොරතුරු මතකය අපට කීවේය. සුගතපාල සෙනරත් යාපා යන චිත්‍රපට ගීත රචකයා අපට මුලින්ම හමුවන්නේ 1965 තිරගත වූ ජී. ඩී. එල්. පෙරේරා අධ්‍යක්ෂණය කළ “සාමා” චිත්‍රපටයෙනි. මල්ලිකා පෙරේරා ගී ගැයූ ජයතිස්ස අලහකෝන් තනුව නිර්මාණය කළ ඒ ‘‘වනන්තරේ ගල් අරණේ විමානෙට‘යන ගීයයි.
“මම මුලින් ම රජයේ ලිපිකරුවකු ලෙස නාරාහේන්පිට කම්කරු අමාත්‍යාංශයේ වැඩකළා. කලාවට පුංචි කාලේ සිටම ඇල්මක් දැක්වූ මට අප සමඟ සිටි ජී. ඩී. එල්. පෙරේරා නම් නාට්‍ය නිෂ්පාදකයා ලිපිකරුවෙක් ලෙස හඳුනාගන්නට හැකි වුණා. මගේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂය වුණේ ජී. ඩී. එල්. ගේ වේදිකා නාට්‍යය වූ ‘සාමා”, “මෙහෙව් ලෝකෙක”, “ගැටේ සහ මතේ”, “අන්දරේ‘ යන නාට්‍යවල රඟපෑමට මට අවස්ථාව ලැබුණා.”
සුගතපාල තම වේදිකා රංගනය ඇරඹුවේ පාසල් වේදිකාවෙනි. ඔහුගේ මුල්ම රඟපෑම ද කිසිවකුත් විශ්වාස නොකරනු ඇත. තම අම්මාගේ මෘත දේහය ගෙදර තිබියදී පාසල් වේදිකා නාට්‍යයක රඟ පෑ පුතකු වී නම් ඒ සුගතපාලය. රක්වානේ මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් “නිමල්ගේ ඉරණම” නම් නාට්‍යයේ ප්‍රධාන චරිතය වූ සුනිල්ගේ චරිතය රඟපෑවේ සුගත් ය. පාසලේ ගොඩනැඟිලි අරමුදලට ආධාර පිණිස මේ නාට්‍යය වේදිකා ගතවන දිනට අධ්‍යාපන නිලධාරියා පැමිණෙන බව විදුහල්පතිතුමා කල් ඇතුව කියා තිබුණි. නාට්‍ය වේදිකා ගතවන දිනයට සුගත්ගේ මව මිය ගියාය. පියාත්, මවත් අහිමි වූ සුගත්ට දරාගත නොහැකි දුකකි. මවගේ මෘත දේහය ගෙදර ගෙන ආ රාත්‍රියේ විදුහල්පතිතුමාත්, ගුරුවරුන් කිහිපදෙනෙක් සුගත්ගේ ගෙදරට ආහ. පසුදා දහවල් 10ට නාට්‍යය වේදිකාගත වීමට තිබුණි.
“සුගතපාල, අපි නාට්‍ය පෙන්නන එක කල්දාමු.” විදුහල්පති සුගත් පසෙකට කැඳවා සෙමින් ඇසුවේය.
සුගත් කිසිවක් නොකියා තම එකම ආරක්ෂකයා වූ ආච්චි වෙත ගියේය.
“ආච්චියෙ, අදයි අපේ ඉස්කෝලේ නාට්‍ය පෙන්වන්නේ. මම ඒකේ ප්‍රධාන නළුවා. වෙන කෙනෙක් පුරුදුකර කරන්නත් වේලාවක් නැහැනේ.”
“පුතේ උඹ හරිම ආසාවකින්නෙ රඟපෑවේ. අම්මා ඉන්න කාලේ උඹ ගෙදර රඟපාන කොට සතුටු කඳුළු හෙළුවා. උන්දැ කොයි ලෝකෙක හිටියත් සතුටුවේවි. පලයන් පුතේ ගිහින් රඟපාල වරෙන්. මගේ රත්තරං පුතා ඉස්සරහට තබපු පය පස්සට තියන්න එපා.”
සුගත්, තම මවගේ මෘත දේහය බලා වැඳ අවසර ලබා පාසලට යන විට පාසලේ ළමුන්, ගුරුවරු, මව්පියන් මවිතව බලා සිටියහ.
සුගත් රඟපෑ සුනිල්ගේ චරිතයට ඔහුගේ මව මිය යන දර්ශනයක් තිබුණේ. ඔහු වේදිකාවේ මේ අවස්ථාව නිරූපණය කළේ සංවේදීව, මහ හඬින් අඬමිනි. නාට්‍ය අවසන වේදිකාවට ගිය අධ්‍යාපන අධ්යක්ෂ සුගත්ගේ හිස අත ගා සුබ ප්‍රාර්ථනා කළේය. “අනේ පව්! අම්මයි තාත්තාත් නැති දරුවා” කවුදෝ කියනු සුගත්ට ඇසුණි.
සුගත්ගේ එකම විනෝදාංශය වුයේ කූඩාරම් සිනමාහල්වලින් ඉවතට වීසි කළ චිත්‍රපට රීල් ශතයක් ගෙවා එකතු කිරීම ය. පුංචි කාලයේ සිටම ඔහු කාර්මික වැඩවලට දක්ෂය. පළිඟු කණ්ණාඩියක් සොයා ටෝච් එළියෙන් රූප බිත්තියට වැටෙන ප්රොජැක්ටරයක් ඔහු සාදාගෙන මිතුරන්ට චිත්‍රපට පෙන්වීමෙන් සතුටක් ලැබුවේය. එදා කබොක් ගල් ආසනවල වාඩිවී සිටි මිතුරෝ අත්පුඩි තැලූහ.
පසු කලෙක සුගත් නිර්මාණය කළ “මිනිසා සහ කපුවා” කෙටි චිත්‍රපටයට 1969 පැවති නවදිල්ලි ජාත්‍යන්තර සිනමා උලෙළේ රජත මයුර සම්මානය දිනා ගන්නා විට අත්පුඩි ගැසුවේ ලෝකයේ සිටි විශිෂ්ට කලාකරුවන් ය. එහි හේතු පාඨය වූයේ –
For its imaginative use of everyday life in Ceylon as a stage for the enactment of a wry parable about man’s insatiable acquisitiress and its inevitable thwarting; awarded the best short film, THE MAN AND Crow, at the 4th International film festival, NewDelhi.”
1935 නොවැම්බර් 10 වැනිදා රක්වානේ උපත ලැබූ සුගතපාල සෙනරත් යාපා ගේ පියා වූ ඩේවිඩ් සෙනරත් යාපා බස් සමාගමක කොටස්කාරයෙක්. “කුමන්ත්රණයකින් මගේ පියා මිය යන විට මමත් නංගීත් පුංචියි. මගේ අම්මා අපිව හදා ගත්තේ විශාල ධෛර්යකින්. ඔහු සිහි කළේය.
“මගේ ළමා කාලයත් චිත්‍රපටයකට සමානයි. මගේ නංගීත් මමත් හැදුණේ ආච්චි ගාව. ආච්චිට කිරිපට්ටියක් තිබුණා. අපි හැදී වැඩුණේ කිරි විකිණීමෙන් ලැබූ මුදලින්. මම මුලින් ම ඉගෙනීමට ගියේ රක්වාන මහා විද්‍යාලයට. ඉන්පසු පැල්මඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයට. ඉංග්‍රීසි ඉගෙනගන්න රක්වාන ශාන්ත ඇන්තනිස් විද්‍යාලයට ගියා. ජ්‍යෙෂ්ඨ විභාගය පාස් වෙලා මම මගේ ඥාති සොහොයුරෙක් වූ (පසුව ජනප්‍රිය චිත්‍රපට නළුවකු හා චිත්‍රපට අධ්යක්ෂවරයකු වූ) එල්. එම්. පෙරේරා විසින් පාලනය කළ වෙන්නප්පුවේ ආරියමාලා සිනමාහලේ ටිකට් විකුණුවා. ඊට පස්සේ මම ජ්‍යෙෂ්ඨය පාස් කරලා රජයේ ලඝු ලේඛන විභාගයෙන් සමත්වී, ලිපිකරුවකු වුණා.”
ලිපිකරුවකු ලෙස රජයේ සේවයට එක් වූ සුගත් නාට්‍ය නළුවෙකු ලෙස මහගම සේකරගේ “කුණ්ඩලකේසි” නාට්‍යයේ සහ “මැටිබළල්ලු”, “මැටි කරත්තය” නාට්‍යවලත් රඟපෑවේය. එහෙත් සුගත් සිහින මැව්වේ රඟපෑමට නොවේ. කවදා හෝ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට ය. 1968දී තම කුළුඳුල් චිත්‍රපටය වූ “හන්තානේ කතාව” චිත්‍රපටය සැලසුම් කළේය.
මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකක් තිබුණි. එක් චරිතයක් අනුර. මේ චරිතය රඟපෑවේ ටෝනි රණසිංහ. එය 20 වැනි ශතවර්ෂය සමඟ යා නොවන චරිතයක්. ඊළඟ චරිතය බන්දු. ඔහු නවීන පන්නයේ අදහස් සමඟ එක්වූ දඟකාර චරිතයක්. මේ නවක නළුවා තෝරා ගැනීමට සුගත් සමඟ චිත්‍රපටයට සහාය වූ ධර්මසේන පතිරාජ, විජය ධර්ම ශ්‍රී, බර්ටි ජයසේකර, බර්ටි ගුණසේකර, සෝමපාල ලැනරෝල් සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වූහ. සුගත් මේ පරීක්ෂණය ගැන අතීතය ආවර්ජනය කළේ මෙසේය.
“ඡායාරූපවලින් තෝරා ගත් ඡායාරූප අතරින් 40 ක් අපි තෝරා ගත්තා. ටික වේලාවකින් අප ඉදිරියේ පෙනී සිටියේ කඩවසම් සිහින් එළු රැවුලක් සහිත තරමක දඟකාර පෙනුමක් ඇති ඕනෑවට වඩා පිටුපස කොණ්ඩය වවා ගත් හීන්දෑරි තරුණයෙක්.
“නම මොකක් ද?” සුගත් ඇසීය.
“කේ. වී. ඒ. කුමාරතුංග. කෝවිලගේ විජය ඇන්ටනි කුමාරතුංග.”
“අපි ඔයාව විජය කුමාරතුංග කියලයි සිනමාවට හඳුන්වල දෙන්නේ. හැබැයි පුතෝ, ප්‍රශ්නයක් තියෙනවා. ඔය කොණ්ඩෙයි, රැවුලයි නම් කපන්න වෙනවා.” මම කිව්වා.
“ඒකට කමක් නැහැ” විජය කීවේ කැමැත්තකින් නොවේ.
විජය කොණ්ඩය කපනදා පේරාදෙණිය විශ්වවිද්‍යාලය අසල තිබූ කුඩා බාබර් සාප්පුපකට අප සැම එක්ක ගියේ අපේ චිත්‍රපටයේ සම තිරනාටක රචක බර්ටි ජයසේකර. (පසුව කීර්තිමත් පරිපාලන නිලධාරියකු වූ ඔහු මෑතදි මිය ගියා.) එදා විජය කොණ්ඩය කපද්දී පුංචි ළමයෙක් වගේ අඬන්න පටන් ගත්තා. “මම කොච්චර මේ කොණ්ඩේට ආදරය කළාද” විජය මටත් බර්ටිටත් කිය කියා අඩද්දි අපි ඔහු සැනසුවා. “විජය උඹ රඟපාන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට. ඔය කොණ්ඩේ ඒකට සුදුසු නෑ.” මම කිව්වාම විජය ඇඬීම නතර කර ගත්තා. විජය “හන්තානේ කතාව” චිත්‍රපටයේ භාගයක් රඟපාන කොට ඔහුගේ ඡායාරූප පත්තරවල පළවී තිබෙනු දැක චිත්‍රපට 12කට ඇරයුම් ලැබුවා. විජය ලංකාවේ ජනප්‍රියම නළුවා වුණා. මම කළේ විජයව හඳුන්වා දීම පමණයි. ජනප්‍රියත්වය එයාගේ වාසනාවට ලැබුණු දෙයක්.” සුගතපාල කීවේය.
‘හන්තානේ කතාව’ චිත්‍රපටයට සුගත් ජනප්‍රිය ගීත තුනක් රචනා කරමින් සනත් නන්දසිරි හා වික්ටර් රත්නායක මුල්වරට සිනමාවට හඳුන්වා දුන්නේය. සංගීත අධ්යක්ෂවරයා වූයේ ප්‍රේමසිරි කේමදාසය. ගීත ගැයූවේ සනත් නන්දසිරි ය.
සිංහල චිත්‍රපට ගීතයක් ගීත රචකයක් දෙදෙනකු විසින් ලියූ ප්‍රථම අවස්ථාව ලෙස වාර්තා වන්නේ ද ‘හන්තානේ කතාවෙ’නි. මහගම සේකර සමඟ සුගතපාල සෙනරත් යාපා රචනා කළ මේ ජනප්‍රිය ගීය ගැයුවේ නන්දා මාලිනි සමඟ වික්ටර් රත්නායකයි. නන්දා ගයන කොටස මමත් වික්ටර් ගයන කොටස සේකරත් රචනා කළහ.
සුගත් විසින් රචනා කළ තවත් ගීතයක් අමරදේවයන් විසින් ගයා ඇත. “දිගන්තයේ ගන අවිදු අඳුරු බිම – ඔබ ගලනා හඬ නිසංසලේ” ඒ ගීතයයි. චිත්‍රපටයේ එන නන්දා මාලිනිය ගැයූ ‘මහගිරි අරණේ මේ දිවි උයනේ’ ගීතය රචනා කර ඇත්තේ ධර්මසිරි ගමගේ ය.
“හන්තානේ කතාව” චිත්‍රපටය සමඟ සුගත් අධ්‍යක්ෂණය කළ ජාත්‍යන්තර සම්මාන ලැබු “මිනිසා සහ කපුටා” කෙටි චිත්‍රපටය ද තිරගත විය. මේ කෙටි චිත්‍රපටයට කතා තේමාව ලැබුණේ සුගත් ලිපිකරුවකු ලෙස සේවය කළ කම්කරු දෙපාර්තමේන්තුවේදී ඔහු ලැබූ අත්දැකීම විස්තර කළ අයුරුය.
“මා සේවය කළ කම්කරු දෙපාර්තමේන්තුව තිබුණේ රැකීරක්ෂා කාර්යාලය යටතේ. මගේ ප්‍රධානියා වූ අමරදාස සමඟයි මම පඩි ගෙවන්නේ. අපේ කාර්යාලයේ හිටිය වීරසිංහ ලිපිකරුවෙක්. මිනිහා සල්ලිවලට කෑදරයි. අපි සල්ලි ගණන් කරනකොට මිනිහා කෙළ ගිලිනවා. තවත් අපූරු විහිළුකාරයෙක් හිටියා සතිශ්චන්ද්‍ර කියලා. මිනිහා දවසක් මැරිච්ච කපුටෙක් හොයාගෙන අපි පඩි ගෙවන සල්ලි ගෙනෙන බෑගයකට සමාන බෑග් එකක දාලා අපි කීප දෙනෙකුට කියලා සරප් අංශයේ තිබ්බා. අපි කවුරුත් සැඟවිලා විමසිල්ලෙන් හිටියෙ. කවුරුවත් පෙනෙන්න නැති වෙලාවක් බලලා වීරසිංහ අර බෑග් එක අරං ගියා. මේ සිද්ධිය ඇසුරෙන් තමයි පෘථග්ජන මිනිසුන්ගේ මනසේ ඇතිවන තෘෂ්ණාව ගැන කියන්න කෙටි චිත්‍රපටය කළේ. ප්‍රධාන චරිත රඟපෑවේ ගාමිණී ගනේගොඩ සහ සමන් බොකලවෙල. මෙහි කාලය විනාඩි 17යි. මට ලෝකයේ තාක්ෂණය අතින් දියුණු රටවල් 75ක් පරදවා දෙවැනි තැනට හිමි රජත මයුර සම්මානය ලැබුණේ.”
සුගතපාල සෙනරත් යාපා 1972 වසරේ රජයේ චිත්‍රපට අංශයේ අධ්යක්ෂවරයකු ලෙස බැඳී “පස්වැන්නා, ගරුඬගල, උඩවැඩියාමල් දෙකක්, අනාගතය උපන් දවස, දළදා සිරිත, ආචාර්ය කොල්වින්, රන් දිය දහර, රිදී වරල්, අපට හෙටක් වාර්තා චිත්‍රපට නිර්මාණය කළ අතර “ගරුඪ ගල” චිත්‍රපටයට 1985 අන්තර්ජාතික චිත්‍රපට උලෙළේදී රජත කොරාන් සම්මානය ඔහුට හිමි විය. “පියා සහ දරුවෝ” ඔහු අධ්‍යක්ෂණය කළ ප්රචාරාත්මක චිත්‍රපටයකි.
ඔහු හන්තානේ කතාව (1970) පසු පෙම්බර මධු (1977) ඉන්දුට මල් මිටක් (1981) යන වෘතාන්ත චිත්‍රපට අධ්‍යක්ෂණය කළේය. ඔහු “පෙම්බර මධු” චිත්‍රපටයේ අවසාන දෙකක් සහිත චිත්‍රපටයකි. සිංහල සිනමාවට මෙය හඳුන්වා දුන් මුල්ම චිත්‍රපටය විය. එක පිටපතක එහි අවසානය සුඛාන්තයකි. දෙවැන්න ශෝකාන්තයකි.
මගේ බිරිය සෝමලතා මගේ ජීවිතයේ මා දැක ඇති කරුණාවන්තම කාන්තාව. ලෝකයේ සිටින කරුණාවන්ත කාන්තාව තේරුවොත් සෝමලතා හොඳම 10ට අනිවාර්යෙන්ම ඇතුළත් වෙනවා. ඇය කාරුණික හෙද නිලධාරිනියක්.
සුගත් උපන් ගෙයි වාමාංශිකයෙකි. ඇන්. ඇම්., කොල්වින්, විවියන් සමසමාජ පක්ෂ රැස්වීම්වලට එනවිට පුංචි සුගත් කට අයාගෙන බලා සිටියේය. කවියට දක්ෂ ඔහු සමසමාජ රැස්වීම්වල කවි කීවේය. දැනට ගිලන්ව රාගම, නිවෙසට වී සිටී. අද සුගත් ගේ බිරිය එඩිප්පුලි ආරච්චිගේ දෝන සෝමලතා ඔහුගේ සෙවනැල්ල සේ සිට උවටැන් කරන්නීය. සුගත් හා සෝමලතා යුවළගේ වැඩිමහල් පුතා මුදිත දර්ශන සෙනරත් යාපා ඇමෙරිකාවේ සෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ සහ ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක් ලබා ලංකාවට පැමිණ ජෝන් කීල්ස් සමාගමේ පර්යේෂණ අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. දියණිය සුභානි ගංගා කලක් රූපවාහිනි සංස්ථාවේ නිෂ්පාදන අංශයේ නිලධාරිනියක්ව සිට දැන් සේවයෙන් සමුගෙන තම පියා වෙනුවෙන් කැපකොට සිටින්නීය.